"දේශයට ආලෝකය රැගෙන ඒමේ ශක්තිය පොත් තුළ අඩංගු වී තිබෙන බවත්, ගින්නෙන් දැවෙන සමාජයේ දුක්ඛ දෝමනස්සයන් කොනිත්තමින් මඳකට හෝ ජීවිතය විඳින්නට කවියකට හැකියාව තිබෙන" බවත් පවසන්නේ 44 හැවිරිදි සදීෂ් කුමාර් ය. තිනකරන් වාරමංජරී පුවත්පතේ සෙන්දූරන් කලා අතිරේකය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී එසේ පවසන ඔහු සිටින්නේ ජීවිතාන්තය දක්වා සිරගතව ය. සදීෂ් උතුරුකරයේ විවේකානන්ද නගර්හි දිවි ගෙවූවෙකි. මෙයට වසර 14කට පෙර ජීවිතාන්තය තෙක් සිර දණ්ඩනයෙ ලද දේශපාලන සිරකරුවෙකි. දණ්ඩනය පැනවෙද්දී ජීවිතයේ තෙවැනි දසකයට ආසන්න වූවා පමණි. එවක බිළිඳියකව හුන් ඔහුගේ දියණි අද යුවතියකි.
සදීෂ් සිය සිරගත ජීවිතය තුළ හිඳිමින් නිර්මාණකරණයේ යෙදෙන්නේ ය. විවිධ පුවත්පත්හි ඔහුගේ ලේඛන පළ වෙයි. එපමණක් නොවේ, ඔහු මුද්‍රණයෙන් පළ කළ කෘති ද ගණනාවකි. කවි, කෙටිකතා, කෙටි නවකතා ඒ අතර වෙයි. ඔහුගේ ඊළඟ නිර්මාණාත්මක වෑයම වන්නේ නවකතාවක් ලියා පළ කිරීමයි.
සහෝදර ඝාතක යුද්ධය අවසන්ව වසර 12 ක් ඉක්ම ගොස් ඇතත් තවමත් නාමිකව වෙනස් වුවද හරයෙන් සමානව "ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත"(දැන් ත්‍රස්ත විරෝධී පණත) ක්‍රියාත්මක වෙයි. සදීෂ්ට එරෙහිව නඩු පැවරෙන්නේ ද උක්ත පෙර පණත අනුව ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් පවා විවේචනයට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතට ගෙනා සංශෝධිත පණත ද හරයාත්මකව දරා සිටින්නේ පෙර පණතේ කරුණු ම ය. 2017 වසරේදී මෙරට සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිතයා පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත බහුලව යොදාගන්නේ දෙමළ ජාතිකයන් මර්දනය අරභයා වන බැවින් එයින් වැඩිම බලපෑම ඇත්තේ දෙමළ ජාතියට බවයි. වසර 40කට පෙර කඩිමුඩියේ ගෙනවිත් සම්මත කළ මේ පණත විසින් අතිශය පීඩාවට පත් කරනු ලැබුවේ දෙමළ ජාතිකයන් බව නොරහසකි. අඩු වැඩි වශයෙන් ආණ්ඩු විරෝධී ක්‍රියාකාරිකයන් තළා පෙළන්නට ද මෙම පණත අදද භාවිත කෙරෙයි.
කෙසේ වෙතත් යුධාවසානයේ අවශ්‍ය වූයේ සැබෑ සංහිඳියාවක්, ජාතීන් අතර ඒකාග්‍රතාවක්, සියලු ජාතීන්ට මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හිමිකර දීමක් නම් ඒ කෙරෙහි වන ජාතික සංවාදයක් ඇති කළ යුතුව තිබුණි. එහෙත් සිදු වූයේ සහෝදර ඝාතක යුද්ධයේ දරහැව රණකාමී ඔජවැඩීමක් ලෙසින් දසකයකටත් වඩා දුර ඔසවා ගෙන එමින් එය තම බල ව්‍යාපෘතිවල යොදවා ගැනීම යි. එනයින් අපට අදත් බරැති හෘද සාක්ෂියක් සහිතව කතා කරන්නට දේශපාලනය කිරීම හේතුවෙන් දණ්ඩනයට ලක් කළ මිනිසුන් සිටිති. කොන්දේසි විරහිතව දේශපාලන සිරකරුවන් නිදහස් කරනු වෙනුවට තවත් ඔවුන් පීඩාවට පත් කරමින් තිබෙයි. බොහෝ මිනිසුන්ගේ ජීවන සුස්මන් මෙලෙස කිසි කෙනෙකුගේ අවධානයට ලක් නොවී, යුක්තිය ඉටු නොවී හිස් අවකාශයේ සැඟව යන්නට ඇත. චෝදනා ගොනු කිරීමක්, නඩුවකින් වරදකරු කිරීමක් හෝ යුක්තිය පිළිබඳ අවම සාධාරණයක් හෝ නොමැතිව රක්ෂිත බන්ධනාගාරයේ ම ජීවතය අවසන් කළ මිනිසුන් ගැන අපි දනිමු.
සදීෂ්ගේ කතාවේ ඇති වෙසෙස නම් ඔහුට යුක්තිය සොයනු පිණිස මව විසින් දරණ වෑයමයි. 67 හැවිරිදි සෙල්ලයියා පවලවල්ලි මාතාව එකලාව සිය ප්‍රාණසම පුත්‍රයා වෙනුවෙන් තවමත් සටන් වදින්නීය. කිලිනොච්චියේ නිවසන ඇය හොඳින් සිංහල උසුරුවන්නී ය. කලෙක මැල්සිරිපුර, මඩහපොල පාරේ දියදහරක් අද්දර සාමයෙන් පිරි නිවසක ජීවත් වෙමින් සිංහල පාසලක අධ්‍යාපනය හැදෑරූ ඈ සිංහලෙන් කතා කිරීමට සමතියකි. 1983 දී තමනට එල්ල කළ කෘර ජාතිවාදී ප්‍රහාරයේ ගිනිදැල් මැද උතුරට පළා ගිය බව වැඩිදුරටත් විමසද්දී ඈ පැවසුවා ය.
ොපුත්‍ර ස්නේහයෙන් මඬනා ලදුව, තවමත් ධෛර්යය පිරිහී නොගිය සෙල්ලයියා පවලවල්ලි නම් ඒ මාතාවගේ වචන පහත පළ වෙයි. ඒ වචන අපගේ හෘද සාක්ෂියෙහි බර වඩාත් තීව්‍ර කරයි.
"හරි හෝ වැරැද්ද ඉක්මවා යමින් කිසියම් පොදු අරමුණක් වෙනුවෙන් මේ දරුවො අරගල කරල සිරගතව සිටින බව බහුතර ජනතාව වටහා ගත යුතුයි. ඒ අනුව සමාජයේ උනන්දුවෙන් ක‍්‍රියා කරන සිවිල් සංවිධාන නායකයින්, බහු ආගමික නායකයින්, දේශපාලන ක්‍ෂේත‍්‍රයේ නියැළෙන්නන් එක්ව අපගේ දරුවන්ගේ නිදහස උදෙසා රජයට බලපෑම් කළ යුතුයි. අවුරුදු 28 දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් උරුම කරගත් සිරකරුවෙක් වුණු මගේ අහිංසක පුතාට දැන් 43යි. ඔහු සිරගතව සිටිමින් ම ඉගෙනගෙන ඩිප්ලෝමා පාඨමාලා ගණනාවක් සමත් වුණා. ඒ වගේ ම මේ වන විට පොත් 4ක් ලියා ප‍්‍රකාශයට පත් කර තියෙනව. නොකඩවා ම සාහිත්‍ය නිර්මාණ කටයුතු වල නියැළෙනව.
සිරගතව සිටින අපේ දරුවන්ට ත්‍රස්තවාදී කියන ලේබලය අලවන්න එපා. එයාල මසින් ලෙයින් හැදුණු හැඟීම් දැනීම් තියෙන මිනිස්සු. ඔවුන්ටත් මේ රටේ ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් සියල්ල තියෙනව. ඔවුන් තමන්ගෙ ඥාති හිතමිතුරන් සමග එකතුවෙලා නිදහසේ ජීවත් වෙන්න අවස්ථාවක් එනතුරු බලාගෙන ඉන්නව. ඒක ඉටුකරන එක තමයි රජයක වගකීම.
මගෙ පුතා පදවපු වාහනේ ඇතුළෙ තිබිල කොටි සංවිධානෙට අයත් වෙඩි බෙහෙත් අත්අඩංගුවට ගත් බව දන්වල එයාට විරුද්ධව වව්නියාව මහාධිකරණය චෝදනා පත්‍ර ගොනු කරල තිබ්බ. එවකට හදිසි නීතිය යටතේ පනවපු මේ චෝදනා වලින් නිදහස් වෙන්න නඩු කියන්න වුණා. එයට උසස් නීතිඥවරු අල්ලගන්න හැකියාවක් අපිට තිබුණෙ නෑ.අපි යුද්ධය නිසා ආර්ථික වශයෙනුත් පීඩාවට පත්වෙලා හිටියෙ. ඒ නිසා නීති උපකාරක ආයතන මගින් සම්බන්ධ කරල දුන්න කනිෂ්ඨ නීතිඥයො තමයි නඩුවට පෙනී සිටියෙ. අවාසනාවන්ත විදියට නඩු තීන්දුවෙදි මගෙ පුතාට 2011 වසරෙදි උසාවියෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. ඒ කාලෙ විමුක්ති කොටින්ගෙ සම්පූර්ණ පරිපාලන බලය යටතෙ පැවති කිලිනොච්චි ප්‍රදේශයේ ජීවත් වුණු එක් දරු පියෙකු වුණු මගේ පුතාට ජීවත් වුණු පරිසරයෙනුත් ලැබුණෙ අහිතකර තත්ත්වයක්. උසාවියෙනුත් සාධාරණය ඉටු වුණේ නෑ. ඒ වේදනාව තාම මා තුළ තියෙනව. මොනව කරන්නද? යුද්ධ කාලය වුණු ඒ දිනවල දවල් නොබලා විවේකයක් නොගෙන රෝහලේ සේවය කරල ජීවිත ගණනාවක් බේරගන්න උදව් කරපු මගෙ පුතා අද හැම වේදනාවක් ම දරාගෙන 14 වසරක් තිස්සෙ කොළඹ මැගසින් බන්ධනාගාරෙ දුක් විඳිනව. කසාද බැඳල අවුරුදු 3ක් විතරක් එකට ජීවත් වුණු මගේ පුතායි, ලේලියි, අවුරුදු 2 1/2 වයසෙ ඉඳන් පිය සෙනෙහස වෙනුවෙන් ළතවෙන මිණිබිරීයි හෙට දිනයෙ පුතාගෙ නිදහස වෙනුවෙන් බලන් ඉන්නව.
බලයට පත්වුණු හැම ජනාධිපති කෙනෙකුට ම, උතුරට එන හැම මහජන නියෝජිතයෙකුට ම මම මගෙ පුතා නිදහස් කර දෙන්න කියල අභියාචනා භාරදුන්න. එහෙම දීල බලන් ඉඳල ඉඳල මුළා වුණා විතරයි."
පෙර පවත්වාගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත වෙනුවට ගෙනා, ත්‍රස්ත විරෝධී පණත (Counter Terrorism Act – CTA)වහා අහෝසි කළ යුතු ය. සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු ය. කිසිවෙකු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් සටන් කරන්නේ නම් ඒ සියලු දෙනා සිය න්‍යාය පත්‍රයන්හි සැබෑ ඉඩක් මෙවැනි ඉල්ලීම් කෙරේද වෙන් කළ යුතු බව අප විශ්වාස කරමු. කේවළව මේ සිදුවීම ගැන සලකන්නේ නම්, සදීෂ් කුමාර්ට නිදහස වෙනුවෙන් නෛතිකව ඇති අන්තිම හුය වන අභියාචනයක් ඉදිරිපත් කර පවලවල්ලි මාතාව බලා සිටින්නේ සාධාරණයක් ඉෂ්ට වී ඔහු නිදහසේ හිරු එළිය දකින තුරු ය.
සදීෂ්ගේ කෙටිකතාවක් පහත සබැඳියෙන් කියවීමට පුළුවන.
- සඳුන් ප්‍රියංකර විතානගේ
Post a Comment